පියා සරන සකලූන්

Sunday, August 3, 2025

සිනමාවෙන් නිරූපිත සමකාලීන සමාජය - Bicycle Thieves චිත්‍රපටය ආශ්‍රයෙන් විමසීම


1949 ඔස්කා සම්මාන උළෙලෙහි හොඳම විදේශීය භාෂා චිත්‍රපටය සඳහා හිමි සම්මානය දිනාගත් "Bicycle Thieves", (බයිසිකල් හොරු) චිත්‍රපටය වර්තමානය වන විට ද ලොව විශිෂ්ටතම චිත්‍රපටයක් ලෙසින් සිනමාලෝලීන් අතර ප්‍රචලිතය. 1948 වර්ෂයේ දී මෙකී විශිෂ්ට සිනමා නිර්මාණය සිදුකරන ලද්දේ , Vittorio De Sica (වික්ටෝරියෝ ඩී. සිකා) විසිනි.  වික්ටෝරියෝ ඩී සිකා යනු ඉතාලියේ මුසලෝනි පැසිස්ට්වාදී සිනමාවෙන් මිදී සිනමාව මහපාරට ගෙනා එනම්, නව යථාර්ථවාදී සිනමාධාරාවක් ඉතාලියේ ඇති කිරීමට පුරෝගාමීත්වය ගත් චිත්‍රපට නිර්මාණකරුවෙකි. 

ඉතාලියානු නව යථාර්ථවාදී සිනමාවේ ප්‍රධාන ලක්ෂණය වන්නේ ලෝක යුද්ධයෙන් පසු ඉතාලි සමාජයේ විරැකියාව, දරිද්‍රතාවය, දේශපාලන තත්ත්වය   වැනි සමාජකාරණා පසුබිම් කරගෙන චිත්‍රපටවල කතා වස්තුව ගෙතී තිබීමයි. ඒ අනුව Bicycle Thieves  චිත්‍රපටය ආශ්‍රයෙන් සමකාලීන ඉතාලි සමාජ ස්වභාවය   පිළිබඳ නිගමනයකට එළඹිය හැකියි.

මෙම චිත්‍රපටයට පසුබිම් වන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පසු රෝමය අසල පිහිටි ගමකි.  චිත්‍රපටය ආරම්භ වන්නේ මෙහි කථානායකයා වන Antonio Ricci 

අන්තෝනියෝ රිචි හට හමුවන රැකියාවත් සමඟිනි.  ඔහු සමඟ රැකියාවක් ලබා ගැනීමේ අපේක්‍ෂාවෙන් තවත් පනහකට ආසන්න පුරුෂයන් ප්‍රමාණයක් රැස්ව සිටී.  මෙයින් පෙනී යන්නේ ප්‍රදේශයේ විරැකියාවෙන් පෙළෙන පිරිස පිළිබඳවය.  රිචි හටද ලැබෙන්නේ ඉතා සුළු කම්කරු රැකියාවකි. එනම් නගරය පුරා තැනින් තැන දැන්වීම් හෝ පෝස්ටර් ඇලවීමය.  නමුත් රැකියාව ලබා ගැනීමට නම් රිචි හට බයිසිකලයක් තිබීම අනිවාර්ය වේ.

දරුවන් දෙදෙනෙකුත් බිරිඳත් නඩත්තු කරන කම්කරුවෙකු වන රිචි හට මේ මොහොතේ බයිසිකලයක් නැත. තමා සතු බයිසිකලය උකසට තබා ඇත. අනතුරුව   ඔහුගේ බිරිඳ වන මාරියා තමාට දෑවැද්ද ලෙස ලැබුණු ඇඳ ඇතිරිලි  උකසට තබා බයිසිකලය නැවත ලබා ගනී. මෙහිදී උකස් මධ්‍යස්ථානය ඉදිරියේදී විශාල පෝලිමක් දක්නට ලැබේ.  තමා සන්තකම කුමක් හෝ උගසට තබා මුදල් ගැනීමට මිනිසුන්ට සිදු වී ඇත.  එය විටෙක උපැස් යුවළක්, දුරදක්නනයක් හෝ ඇඳ ඇතිරිල්ලක් වුවද විය හැකිය. මෙකල ඉතාලි සාමාන්‍ය ජනයා කෙතරම් දරිද්‍රතාවයෙන් පෙළිණිදැයි  මෙයින් මනාව පිළිබිඹු වන්නේය.  උකස් මධ්‍යස්ථානයෙහි රාක්ක පුරාවට ඇත්තේ මෙකී පීඩිත ජනයාගේ කුමක් හෝ මිල කළ හැකි වස්තුවකි.

පසුදා තම පාපැදියෙන් අලුත් රැකියාවට අන්තෝනියෝ රිචි පිටව යන්නේ, තම කුඩා පුතු බෘෘනෝත් සමඟය.  දරිද්‍රතාවය කෙතරම් ද යත්,  බෘෘනෝ හට පාසල් අධ්‍යාපනයක් ලබා දීමට රිචිට නොහැකි අතර  බෘෘනෝ ද තම පවුලට යම් ආදායම් මාර්ගයක් ලෙස කටයුතු කරයි.  වයස අවුරුදු දොළහක් පමණ පෙනුමකින් යුත්   බෘෘනෝ ඉන්ධන පිරවුම්හලක සුළු සේවකයෙකි. ඒ අනුව මෙකල ඉතාලියේ ළමා ශ්‍රමිකත්වයක් පැවැති බවද පැහැදිලි වේ.

රැකියාවේ පළමුදිනම ඉතාම අවාසනාවන්ත තත්ත්වයකට මුහුණ දීමට රිචීට සිදුවේ. ඔහුගේ පාපැදිය යමෙකු විසින් සොරා ගන්නා අතර සොරා පිළිබඳව පැමිණිලි කළ ද පොලිසියෙන් ඒ ගැන එතරම් සැලකිල්ලක් නොදක්වයි.  දුකට පත් පියා තම කුඩා පුතු බෘෘනෝද සමඟ නගරය පුරා තම බයිසිකලය සොයමින් ඇවිදියි.

මෙහිදී තාලියේ සමකාලීන සමාජය දෙස පුළුල් විවරණයකට එළඹීමට අවකාශය ලැබේ.  රෝමයෙහි (ඉතාලියේ) අපිරිසිදු වීදිද, රැකියාවන්හි නියතු මිනිසුන්,  එදිනෙදා ජීවනෝපාය ලෙස කම්කරු සේවයේ නියැලෙන අනන්ත වූ මිනිස් ප්‍රජාව, බොහෝ විට පොදු ප්‍රවාහනය වන ට්‍රෑම් කාරයකට ගොඩවීමට පවතින ඉතා දිගු පෝලිම් මෙහිදී දැකගත හැකියි. නගරයේ  අස්සක් මුල්ලක් නෑර ඇවිදින  රීචීට සහ  බෘෘනෝට වරෙක දේවස්ථානයකට ගොඩවීමට ද සිදුවේ. සමකාලීන සමාජයේ ආගම් භක්තිය මෙන්ම මිථ්‍යාවට නැඹුරු වීම මෙහිදී පෙනී යයි.  විටෙක ඔවුන්ට ගොඩවදින්නට සිදුවන්නේ ගණිකා මඩමක් වෙතය.බයිසිකලය සොයා ගැනීමේ අපේක්ෂාව  කෙතරම් ද යත් විටෙක රීචීට බෘෘනෝ මගහැරේ. 

දැඩි කුසගිනිව බෘෘනෝද සමඟ අවන්හලකට ගොඩ වෙන රීචී, බෘෘනෝට කැමති ආහාරපාන ඉල්ලීමට අවස්ථාව සලසයි. මෙහිදී බෘෘනෝ, එහි ඇති අනෙක් මේසෙහි සිටින සම වයස් පිරිමි දරුවා දෙස බලන අතර ඔවුන් ඉතාම සුඛෝපභෝගී ලෙස ආහාර පාන භුක්ති විඳිති. ඔවුන් ධනපති පංතියේ නියෝජිතයන්ය.  නමුත් දෙදෙනාටම කුසගින්න දැනෙයි. බෘෘනෝ සහ අනෙක් දරුවා අතර වන ආහාර ගැනීමේ රටාවන්, එකිනෙකා දෙස බලා ගන්නා ආකාරයෙනුත් මෙම ධන ධනපති පංතිය සහ පීඩිත පන්තියෙහි විරසකය මැනවින් පෙන්නුම් කරයි.

මෙහිදී පීඩිත පන්තියෙහි පිරිසට ද තමා තුළම වන අරගලයක් ඇත. එදිනෙදා නඩත්තුවට , ජීවත්වීමට කීයක් හෝ හම්බකරගෙන ඒම, ඔවුන් ඔවුන් අතරම වන අරගලයයි.  එහිදී   රීචී වැන්නන් සුළු හෝ රැකියාවක් කිරීමට පෙලඹුණ ද තවත් පිරිසක් සොරකම වැනි ජඩකම් කිරීමට පෙළඹී ඇත. දරිද්‍රතාවය  නිසාම ගොඩ නැගුණු දූෂ්‍ය  ය බවත් ජඩකම් සහිත සමාජයත් මෙහි තවත් අයුරකින් දෘශ්‍ය වේ. එහිදී බයිසිකල් සොරා අල්ලා ගත්තද නැවත බයිසිකලය ලබා ගැනීමට  රීචීට අවස්ථාවක් නොලැබෙයි.  සොරා සහිත පාර්ශ්වය විසින් අවසානයේදී රීචී හට හිමිවන්නේ උසුළු විසුලුකම්ය.

නීතියෙන් හෝ සාධාරණයක් නොමැති බවත් අසාධාරණ ජඩකම් මෙම පීඩිත ජනතාව තව තවත් පෙළීමට ලක් කළ බවත් රීචී හට අත්වන විපත්තිදායක ඉරණමෙන් පෙනී යයි.  අවසානයේ දැඩි මානසික පීඩාවට පත්වන රීචී, මාර්ගය අසල නවතා ඇති බයිසිකලයක් සොරා ගනී. අවට සිටින පිරිස ඔහුව ලුහුබැඳ අල්ලා ගන්නා අතර කුඩා බෘෘනෝ ඉදිරියෙහි ඔහුට පහර දෙයි, නින්දා කරයි. පියා ද පුතු ද දැඩි අසරණ තත්ත්වයට පත්වන අතර චිත්‍රපටයේ අවසාන දර්ශනයෙහි රීචී හා බෘෘනෝ දිනෙක වැඩ නිම කළ කම්කරු ජනකාය මැද අතරමංව සිටිති.

රීචී සොරකු නොවන අතර සොරකු ලෙස හන්වඩු ගැසේ. සැබෑ සොරා නිවැරදිකරුවකු බවට පත්වේ. දුගී දුප්පත්කම, විරැකියාව, සූරාකෑම, පීඩිතයාගේ අසරණත්වය මින් මනාව පිළිබිඹු වේ. මෙය ඇන්ටෝනියෝ රීචීගේ කතාව පමණක් නොව එදින ඉතාලියේ, රෝමය විසු සෑම සුළු රැකියාවක නියතවන්නකුටම අයත් වූ ඉරණමකි.

සමකාලීන ඉතාලියේ රැකියා විරහිත තරුණ ප්‍රජාව මුදල් ලබා ගැනීමට කුමක් හෝ කරති. රැකියාවේ නියුතුකම්කරු ප්‍රජාව දිග්ගැසුණු පෝලිම්වල, හෙම්බත් වූ පීඩිත මුහුණුවලින් සිටි. වික්ටෝරියෝ ඩී සිකා, Bicycle Thieves  ඔස්සේ අපට සම්මුඛ කරවන්නේ එකල ඉතාලියේ සමාජයේ ස්වභාවයයි.  එකී  සමාජය දරිද්‍රතාවයෙන් බැටකති.  දරිද්‍රතාවය  හේතුවෙන්ම සොරකම්, මැරකම්, ගණිකා වෘත්තයෙහි යෙදෙති.  පීඩිතයන්ට එවන් ඉරණමක් අත්වන විට, ධනපති පන්තියද   එම නගරයෙහිම, මිහිරි භෝජන භුක්ති විදිමින් ප්‍රීතියෙන් කාලය ගත කරති.  අයෙකු පවුලේ නඩත්තුවට පාසල් නොගොස් රැකියාවක් කොට කුසගින්න  සංසිඳවීමට අවන්හලකින් ආහාර ගන්නාවිට, එහිම ඒ හා සමාන සම වයස් තවත් දරුවෙකු සේවකාදීන් පිරිවරා ප්‍රීතිය සමරමින් ආහාර ගනිති. 

ජනප්‍රිය හොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂක Martin Scorsese (මාර්ටින් ඉස්කෝසේසි) සඳහන් කරන ආකාරයට,   ඉතාලියානු නවසිනමාවේ ලක්ෂණයන් ඩී සිකා තරම් පෙන්නු අයෙක් වෙන නැති අතර මේ සිනමා ධාරාවේ උච්චතම අවස්ථාව ලෙස, Bicycle Thieves චිත්‍රපටය හඳුන්වා දිය හැකිය. ඒ අනුව ඉතාලියානු නව යථාර්ථවාදී සිනමාවේ දැක ගත හැකි ජීවිතයෙන් පැතිකඩක් (slide of life) නිරූපණය කරන කතා වින්‍යාස සැලැස්ම හේතුකොටගෙන මෙය ද විවෘත අවසානයක් කරා ගමන් කරයි. එසේම තත්කාලීන ඉතාලි සමාජය පැතිකඩ ද අපට දැක ගැනීමට සලස්වන බව මගේ අදහසයි.



සදුනි වනසිංහ.

No comments:

Post a Comment

සිනමාවෙන් නිරූපිත සමකාලීන සමාජය - Bicycle Thieves චිත්‍රපටය ආශ්‍රයෙන් විමසීම

1949 ඔස්කා සම්මාන උළෙලෙහි හොඳම විදේශීය භාෂා චිත්‍රපටය සඳහා හිමි සම්මානය දිනාගත් "Bicycle Thieves", (බයිසිකල් හොරු) චිත්‍රපටය වර්තම...