කලාව කුමක්ද? යන්න සෙවීමට වඩා සියල්ල කලාව යැයි සිතීම පහසුය. මන්ද අපේ පංචේන්ද්රියට ඉතා පහසුවෙන් ගෝචර වන සියල්ල කලාවේ නිරූපනයක් ලෙස දැක්විය හැකිය. යමෙකු යම් වේදිතයක් විඳගැනීමෙන් පසු චලන, රේඛා, වර්ණ, ශබ්ද හෝ වචන සංයෝග මගින් ඒ වේදිතය ඒ අයූරින්ම අන්යයන් තුළ ද දැනවීම කලාවේ කාර්යය වන බැවිනි. කලාව වු කලී එක් අයෙකු සිතා මතාම යම් යම් බාහිර සලකුණූ උපයෝගී කරගෙන අන්යයන් ආස්වාදනය වන සේ ස්වකීය වේදිතයන් අන්යයන් තුළ ජනිත කරවන මානව ක්‍රියාවලියකි.ඒ අනුව කලාව සන්නිවේදනාත්මක ප්‍රපංචයක් ලෙස ද හඳුනාගත හැකිය.
කලාව මිනිසා විසින් නිර්මාණය කරගත්තක් මෙන්ම, එය ස්වභාදහමේ පවත්නා ගත සිත පිනවන බොහෝ දේ ඇසුරුකොට ගැනීමෙන් පෙර කී ලෙස රිද්ම, රේඛා, හැඩතල ආදිය අමුද්‍රව්‍ය වශයෙන් යොදා ගනිමින් කළ කාර්යයකි. මේ අනුව රස නිෂ්පත්තිය සිදවන දෙයක් කලාවක් ලෙස හදුන්වාදිය හැකිය. එය ස්වාභාවික හෝ මිනිස් නිර්මාණයක් වුවද විය හැකිය.නොනැවතී ධාවනය වන තත්පර කටු අස්සේ ඒකාකාරීව ගෙවන මිනිස් ජීවිතයට වින්දනයක් එක් කරන්නේ කලාවෙනි. කලාව මිනිස් ජීවිතය හා අතියෝජනියව බැදී පවති.
හෘද ස්පන්දනය වන්නේ රිද්මයකට ය. ඇවිදින්නේ ද තාලයකටය. මව්කුසේ පටන් කලාව මිනිසාට සම්ප්‍රේෂණය වන්නේ විටෙක පිරිතක නැතිනම් නැලවිලි ගීයක ආදී ස්වරූපයකින්ය. තොටිල්ලෙන් නැලවිල්ල, රිද්මය පුරුදු වුණු අපි කලාව හොඳින් හඳුනන්නන් වෙමු. බහ තෝරන්නටත් පෙර නෙත් යොමා අවට පාටට හුරු වන දා සිටම අප වර්ණවත් දේට ආසා කරන්නෝය.
කුඩා දරුවකුගේ කෑම වේල පවා වර්ණවත්ව සැකසිය යුතු බව අසා තිබේ. මේ කුමක්ද? මේ කලාව නොවේ ද? කුඩා කල සිට මිනිසා ලස්සනට ආසා කරති. ලස්සන නම් නෙත් පිනවීමයි. එනම් එය රසකි. රස උපදින්නේ කෙසේද? රස නම් සංඥිතයේ සංඥාපකය බොහෝවිට සෞන්දර්යයි. සෞන්දර්ය කලාව චිත්‍ර, නැටුම්, සංගීත, නාට්‍ය ආදී වශයෙන් අධ්‍යාපන විශය ක්ෂේත්‍රය තුළ අප කලාවන් අධ්‍යයනය කළ ද සිංහල සාහිත්‍ය තුළ ‘සූසැට කලා’ නමින් කලාංගයන් 64 ක් පිළිබඳව ද සඳහන් වේ. කෙසේමුත් මෙකී සෞන්දර්ය විශයක් ලෙස අධ්‍යයනය කරනු ලබන කලා මාධ්‍යයන් අපට ඉතාමත් සමීප වන්නේ නිතතින්ම ඒ හා ගණදෙණූ කරන නිසාවෙනි. බොහෝ කලා කෘතීන් නිර්මාණය වන්නේ මෙකී මාධ්‍යයන් ප්‍රමුඛ කරගනිමිනි.
චිත්‍ර කලාව ගත් කල වර්ණ, රේඛා, හැඩතල මාධ්‍ය කොට ගනිමින් අදහස් කරන ප්‍රතිනිර්මාණය කරන කලාවකි. නමුත් කලාවට ඔබ්බෙන් යන කතාවක් සෑම කලා නිර්මාණයක් තුළම නිධන්ගත ව පවති.
විද්‍යාවට, තාක්ෂණයට නොහැකි දේ ද එයම වේ. ඔවුන් සත්‍ය සමඟ ගණදෙණූ කරන විට කලාකරුවා කල්පිතයක් සමඟ ගණදෙණූ කරයි. නමුත් එය හුදු කල්පිතයක්ම නොවේ. සත්‍යයත් කල්පිතයත් අතර අහඹුවකි. විද්‍යාඥයා හඳ දෙස බලා එහි ආවාට දකින විට කලාකරුවා එහි හාවෙකුගේ රුවක් දකී. හඳට අපමණ කවි ගී ලියැවේ. සමීකරණ, සංයුතීන් සමඟ පොරබදින්නාද තම ජීවිතයේ හතිවැටුන තැනක දී කලාව සොයා එති. ඒ නිසා කල්පිතයක් වුවද කලාව මිනිස් සිත් හා ගණදෙණූ කරනූයේ සත්‍යයටත් එහා තැනක සිටය.
විටෙක කලා නිර්මාණ යථාර්ථවත් නොවන බව අපි දනිමු. වේදිකා නට්‍යයකදී එකම වේදිකාවක සිදුවීම් දෙකක් සිදුවේ. වම්පස සිදුවන ඩේ දකුණුපස සිටින කෙනා නොදනී. නමුත් බලාසිටින ප්‍රේක්ෂකයා තුළ භාව විශෝධනයක් සිද්ධ වී ඇත. ඔවුන් ද මොහොතකට එම කතාව තුළ ජීවත් වී ඇත. ධනංජය කරුණාරත්නගේ ලාස්ට් බස් එකේ කතාව නරඹමින් අප සිනාසෙන්නෙමු. නමුත් සිනාවේ අරුත් විමසන විට ඇසිය යුතු දෙයකට අප සිනාසී ඇත. කලාකරුවා යනු ඔහුය. ඔහු සත්‍ය පෙන්වා දෙනුයේ කලාව වු කල්පිතයක් තුළ සිටය. විද්‍යාවක් ලෙස සොයා ගියවිට එ තුළ ඇත්තේ ද සත්‍යයකි.
මා.ඕ.ස.තෝං ට අනුව ඕනෑම කලාවක් තුළ දේශපාලනයක් ඇත. එය සැබෑවකි. සැම කලා කෘතියක් ම වාගේ සමාව ප්‍රතිසංවිධානයෙහි නිරතවන්නකි. එතුළ ගැබ්වන්නේ සමාජමය කතිකාවතකි. චිත්‍රපටයක්, ගීතයක් වැනි ඕනෑම කලාකෘතියක් ගත් කල එය කාලීන සමාජයේ අහුමුල්ලක් හෝ නියෝජනය කරයි. අප දන්නා දෙයම වෙනත් කෝණයකින් ඉදිරිපත් කිරීමකි. එනම් අපූර්වත්වයයි.
“කලාව යනු අපූර්වත්වයෙන් යුතු වුවකි.” ඕනෑම කලාකෘතියක් තුළම මෙම අපූර්වත්වය යම් ප්‍රමාණයකට හෝ අන්තර්ගත වන අතර, එය ගැබ් වන ප්‍රමාණය අනුව නිර්මාණාත්මක වටිනාකමද ඉහළ පහළ යනු ඇත.
මෙකී නිර්මාණාත්මක වටිනාකම යනු ඒ තුළ පවතින සෞන්දර්යයි. සෞන්දර්ය යනු කලාව පිළිබඳ විද්‍යාත්මක අධ්‍යනයක් යැයි ද කියැවේ. කෙසේමුත් සත්‍ය සොයා යෑම විද්‍යාවේ ස්වභාවය වන අතර මායාව වුවද විශ්වාස කිරීම කලාවේ ස්වභාවයයි. විටෙක විද්‍යාව යනු වචනයට ප්‍රතිවිරුද්ධ වුවක් ලෙස කලාව සලකනුයේ කලාව තර්කානුකූල නොවන නිසාය.
මෙම සංකල්ප දෙක තුළ අභ්‍යන්තර ගත සමානකම් බොහෝය. මෙහි ඇති පැහැදිලි වෙනස නම් විද්‍යාව මොළය හා සම්බන්ධ ක්ෂේත්‍රය පුළුල් ලෙස ග්‍රහණය කරන අතර කලාව හදවත හා සම්බන්ධ වන වින්දනාත්මක පක්ෂය මුලික කොට පැවතීමයි.
මිනිසාගේ ජීවයට මොළයේ මෙහෙයවිම මෙන්ම හදවතේ ක්‍රියාකාරීත්වයද අත්‍යාවශ්‍යය. එබැවින් කලාවද විද්‍යාවද අවියෝජනීය වු ප්‍රභවයන් දෙකකි.
· මූලාශ්‍ර:- ලියෝ ටෝල් ටෝයි, කලාව යනු කුමක්ද? (පරි.) ඒ. වී. සූරවීර
· මහාචාර්ය රෝලන්ඩ් අබේපාල, සෞන්දර්ය අධ්‍යාපන විවරණ
* මෙය පේරාදෙණිය විශ්වවිද්‍යාලයයීය විභව සාහිත්‍ය සංගමය විසින් නිකුත්කරන ලද විභව සගරාව සිව්වන කලාපය සදහා මා විසින් ලියන ලද ලිපියකි
ල
No comments:
Post a Comment