1993 හොද ම පරිවර්තනය , ස්වාධීන සහිත්‍ය උලෙළ යනුවෙන් ලෙබල් අලවලා තිබුණ පොතක්, පොත් එකතුවෙන් මම කලින් නොකියවූ පොතක්. "අමුතු මිනිහෙක් ",ඇල්බෙයා කැමුගේ The Stranger හි පරිවර්තනය.ඇල්ජීරියානු ලෙඛක ඇල්බෙයා කැමූගේ රචනා ශෛලිය ටිකක් වෙනස් විකාරරූපී ප්‍රබන්ධ ශෛලිය ලෙසින් එය හදුන්වන්න පුළුවන්. දෙවන් ලෝක යුද්ධය සමග මිනිස් ජීවිත හා දේපල විනාශ වීම හා ඒ සමග මිනිස්සුන්ගේ සිතුම් පැතුම්/ බලාපොරොත්තු කඩවීම තේමාකොටගෙන දර්ශනවාදයක් ගොඩනැගුණා.
ශෝන් පෝල් සාස්ත්‍රේ ,පිකාසෝ,ඇල්බෙයා කැමූ වැනි දර්ශන වාදීනගේ් එකතුවෙන් " එක්සැලිනීශම්" නමින් මෙය හදුන්වන අතර පසුකාලීනව මර්ටින් වික්‍රමසිංහ මෙය විග්‍රහ කරමින් සාංදෘෂ්ටිකවාදය ලෙස හදුන්වාදෙනවා. කෙසේමුත් 1945 දී සම්මුඛ සාකච්ඡා වකට එක්වෙමින් කැමූ කියාසිටින්නේ තමා මෙන්ම සාස්ත්‍රේ ද මෙම දෘෂ්ටිවාදය පිළිනොගන්නා බව. එවිතරක්ම නොව දර්ශන උපාධියද සම්පූර්ණ කළ ඔහු තමා දාර්ශිකයෙක් නොවන බව විටෙක ප්‍රකාශ කරන්නවා. නමුත් ඔහු 1957 දී නොබෙල් ත්‍යාගයෙන් ද පිදුම් ලබන්නේ සිය 44 වැනි වියේදී . දැන් අපට පැහැදිලි ඇල්බෙයා කැමූ ටිකක් වෙනස් ආකාරයක පුද්ගලයෙක් බව. ඒ වගේම ඔහුගේ රචනා ශයිලිය" අමුතුම මිනිහෙක්" කතාව පුරාවට දැකගත හැකියි. ප්‍රංශ බසින් The stranger ලෙසින් ලෙසින් රචිත මෙය බොහෝ භාශා ගණනකට පරිවර්තනය වූවක්. සිංහල භාශාවට එය පරිවර්තනය කළ දෙදෙනෙක් පිළිබඳව සදහන් වන අතර එක්වරක ආචාර්ය සෝමරතන බාලසූරිය එය පරිවර්තනය කරනුයේ ඉංග්‍රීසි පිටපත වන The outsider ආධාරයෙන් . ඒ නිසා එය එලෙසම පිටස්තරයා ලෙසින් පරිවර්තනය වූ අතර අනික් පරිවර්තනය නම් පියසිරි විජය සේකර විසින් ප්‍රංශ බසින් කැමූ විසින් රචිත The stranger හිම පරිවර්තනය යි. මා හිමි භාග්‍ය නම් එහි ප්‍රථම මුද්‍රණය (1993) හිම පිටපත් කියවීමට ලැබීම. මා පෙර කියූ 1993 ස්වාධීන සාහිත්‍යය උලෙළේ හොදම පරිවර්තනය ට හිමි සම්මානය ලැබීමට මෙම පියසීරි විජය සේකර විසින් පරිවර්තිත අමුතුම මිනිසා ග්‍රන්ථය ට යි. එය කෙතරම් සාධාරණ ද යන්න පොතේ පිටු දෙක තුනක් කියූ සැනින්ම පසක් වන්නේ එය පරිවර්තනය ට එහා ගොස් අනුවර්තන ලක්ශන ද දක්නට ලැබෙන හෙයිනි. ප්‍රංශ ජාතික නම් ගම් හැරුණු කොට අනෙක් සියල්ල අපට සමීප වන්නේය. මේ පිළිබද ආචාර්ය අර්ජුන පරාක්‍රම පවසන්නේ "දකුණේ කටවහරත් එදිනෙදා ව්‍යවහාරයත් භාවිතයෙන් මෙම පරිවර්තනය නැවුම් බව හා ජීවමාන බව මතුවෙනවා" ලෙසිනි. එය හැබෑවකී. " උන්දෑ, වහුං වෙලා, මක්කෙයි" වැනි දකුණේ ව්‍යවහර ප්‍රමුඛ වදන් මෙහි අන්තර්ගතය.
"අද අම්මා මළා,මංදා, බාගෙදා.. ඊයෙද දන්නේ නෑ.... බාගෙදා ඊයෙම වෙන්නැති" පුතෙකුට තම මවගේ මරණය යනු මදකට සිය සිහියද නවත්වන දෙයකි. නමුත් මෙහිදී මර්සෝ එය ඉතා සරලව 'අම්මා මළා.." ලෙසින් දක්වයි.එයිනුත් නොනවතින ඔහු වෙත පැන නගින ගැටළුව එය ඊයෙ ද අද ද යන්නයි. මවගේ මරණය වෙනුවට ඔහුට වැයවන කාලය කළමනාකරණය ඔහු සතු වැදගත් කාර්‍යය බව ඔහු පෙන්වා දේ. අම්මා සිය අවසාන කාලයේ ජීවත් වූ මරෙංගෝව පිහිටි මඩමට ඔහු පිටත් වන අතර එහි ගොස් ද ඔහු සිය මව ගේ මෘතදේහය අවසන් වරට බැලීමද ප්‍රතික්ෂේප කරයි. මුරකරු සමග එක්ව කෝපි ද සිගරට් ද ඔහු පානය කරයි.ඔහුට සිය මව දැකගැනීමට අවශ්‍ය නොවන අතර මවගේ මළගම ට සහභාගී විය යුතු නිසා සහාභාගී වූ සෙයකි.කිසිදු කනස්සල්ලක් ඔහු නොදක්වයි.එය අපූරුව දක්වන්නේ,"ඒ කාමර කෑල්ල පුරාම හවස් ජාමේ කම්මුතු වෙන්න කලින් නෑවෙන ලස්ස්න ඉර දියර පේළි නැටුවා බමර ජෝඩුවක් වීදුරු ජනේල් හැපි හැපී බමර සර නැගුවා"ලෙසින් ය මවක් මියගිය මොහොතක් විස්තර කරන විට මෙවන් රසවත් වැකි කිසිවිටෙක නොගැලපෙන මුත් මර්සෝගේ ක්‍රියාකලාපය එසේය. ඔහුට හැගීම් දැනීම් නැති සෙයකි.ඔහු එතනට පැමිණෙන අයගේ ශරීර ලක්ශන නරඹයි.උස,මහත,බඩ ආදිය නිරීක්ෂණය කරයි.සැමුවෙල් බෙකට් ගේ විකාරරූපී රංගනයක් මට සිහි ගැන්වේ.
මර්සො අමුතුම මිනිසෙක් කියන්නට මත්තෙන් මම ඔහු පුදුම මිනිසෙක් ලෙස අර්ථ ගන්වා ගතිමි.මවගේ භූමිදානයට පසුදින ඔහු තමා ප්‍රිය කළ මරී සමග මුහුදේ නාන්නට යයි.විකට චිත්‍රපටයක් නරඹන්නට යයි. අනතුරුව ඈ සමග රාත්‍රිය ද ගත කරයි.
මර්සෝගේ අමුතු ජීවිතය තීව්‍ර වන්නේ ඔහු අවට සිටින මරී මෙන්ම සලමානෝ, රේමෝ ආදීන් නිසාය.
මෙහිදී මරීගේ හා මර්සෝගේ සම්බන්ධය ද ඉතා අපූරුය.මරී පෙම්බදින්නේ අමුතු අයෙකුට බව ඈ දනී.ඈ ඔහුගේ අමුතු ක්‍රියාවන්ට ද එකග වේ.ඈ බදින්නට කැමති දැයි ඈ ඔහුගෙන් අසන විට ඔහුගේ පිළිතුර වන්නේ" කෝකත් එකය. ඈට ඕනේ නම් එසේ කරමු ය" . යන්නයි එවිට ඔහු තමාට ආදරය කරනවා දැයි යන්න ඈ අසන අතර සමහරවිට තමා ඇයට ආදරේ නොකරනවා වෙන්නත් පුළුවන් බව ඔහුගේ පිළිතුරයි . කෙසේමුත් මෙම අමුතු මිනිසාට පෙම්බැදීම යම්කිසි ආශ්වාදයකි.නමුත් ඉන් මාරිට අසාධාරණයක් සිදූබව මට සිතේ. " මම මහා අමුතු මිනිහෙක් ය.ඈ මට ආදරෙත් බාගදා ඒ හින්දාමය. හැබැයි ඒ හේතුව හින්දා ම යම් දවසක මම ඈව අප්‍රිය කරාවිය "
අසල්වැසි සලමානෝ බල්ලෙක් සමග දිවිගෙවන අයෙකු වන අතර නිතර බල්ලාට දොස්කියන අයුරු පහර දෙන අයුරු මර්සෝට සුලබ දසුනක්. නමුත් බල්ලාගේ අතුරුදන් වීමෙන් පසු සලමානෝ ගේ හැසිරීමද දුකඛිත ස්වභාවය ද යම්කිසි උපහාසයක් නංවන්නේ මළ පසු ගුණ වයන වත්මන් කාරණාවන්ද සිහිගන්වමිනි.
මාර්සෝගේ අනෙක් මිතුරා වූ රේමෝං ඔහුගේ ඉර්ණම් කරුවා බදුය . මන්ද මර්සෝගේ කතාව, කතාවක් බවට පෙරලෙන්නේ ඔහුනිසාවෙනි.
කතාවේ මැද්දට පමණ එන විට මාගේ කියමන ට අනූව මාර්සෝ යනු පුදුම මිනිසෙක් ම නොව හිතන මිනිසෙක් යන්නයි.මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්ගේ විරාගයේ අරවින්ද බදු ය. ඔහු තමාට එල්බ ගත් සිතුවිලි සමග ජීවත් වන්නෙකි. නමුත් එය හුදු පරිකල්පිත සිතුවිලි නොව යතාර්ථයන් ය. මාර්සෝගේ සුවිශේෂත්වය ද එයයි. ඔහු යතාර්ථය පසක් කොට ගත්තෙකි. ඔහු එම මොහොතට අනූව ක්‍රියා කරන්නෙකි . ග්‍රීස්ම අව්වේ තම අත වූ රිවෝල්වරය ක්‍රියාත්මක වී ආරාබිකරුවකු මිය යන්නේ ඔහු අතිනි. නමුත් ඒ පිළිබඳ ඔහුට කිසිදු පශ්චාත්තාපයක් නැත .
කතාවේ දෙවන කොටස දිගහැරෙන්නේ මාර්සෝගේ හිරගෙයි ජීවිතයෙනි . ඔහුට හිරකුටිය ජීවත්වීමට තවත් එක් තැනකි.නිවී හැනහිල්ලේ මතක ආවර්ජනයට සුදුසු ස්ථානයකි. ඔහු තම ජීවිතය පිළිබද තීන්දු කරන නඩු විභාගයට යන්නේ ඉතා කැමැත්තෙන් " එක අතකින් නඩු විභාගය දැක බලාගැනීමේ ආසාවකුත් මට තිඋනා.මගේ ජීවිතේ කවදාවතම එහෙම අවස්තාවක් ලැබිලා නෑ." ඔහුට එය ක්ලබ් එකක් බදුය. ඔහු එහි අනාරාධිත් ආගන්තුකයෙක් බදුය . මෙහිදී ලෙනාඩ් වුල්ෆ් ගේ බැද්දේගම ආශ්‍රයෙන් ලෙස්ටර් ජේම්ස් පීරිස් නිර්මාණය කළ බැද්දේගම චිත්‍රපටයේ ජෝ අබේවික්‍රම රග පෑ සිලිදුගේ ක්‍රියවන් මට මැවී පෙනේ. නඩුවාරයේ දී ඔහුට පෙනෙන්නේ කැලේ සිටින හරක්නාම්බෙකි. මෙහිදී මාර්සෝ ත් එලෙස ය . ඔහුට විටෙක නිදිමත දැනේ. ඔහුට මෙය ඉතා අලස රංගනයක් බදුය. ඔහුට ඒ සභාව තුළ හිතන්න දේවල් බොහෝය. අවසානේ දී ඔහු මරණයට නියම වන අතර එහිදී ද ඔහුට එරෙහිවන ප්‍රභල සාක්ශි නම් ඔහුගේ මිනිමැරුම් චෝදනාව ම නෙව, සිය මවගේ මළගම දා අඩා දොඩා නොමැතිව කල් ගත කිරීමය. කිසිදු සම්බන්ධයක් නැති තීන්දු තිරණ හමුවේ නීතිය ද අවඣාවට ලක් කරන සෙයකි.
" මෙන්න මේකයි මේ නඩුවේ සැබෑ මුහුණ. හැමදේම සත්‍ය යි. ඒත් ඒ හැමදේම සත්‍යයෙන් තොරයි!" කෙසේ නමුත් අවසාන පෝරකය වෙත යොමු වන මාර්සෝ ඒ පිළිබඳව කනස්සලට පත් නොවේ." අම්මා නම් නිතරන කියන කියමනක් තමයි කිසිම කෙනෙක් කවදාකවත් මුලුමනින්ම ම අසන්තෝෂයෙන් ඉන්නේ නැතැයි කියන එක.ආකාසේ පාටින් පාට සළුපිළි වෙලාගෙන තවත් නැවුම් දවසක් මගේ කුටියේ යකඩකූරු අතඑඉන් රිංගලා එනකොට හිරේ ඉදගෙන ම මාත් ඇගේ කීම අනුමත කරනවා" ඔහු බලාසිටින්නේ නැවුම් බලාපොරොත්තුවෙනි. ඔහුට ආගමක් නොමැත. තමා වෙනුවෙන් යාඣා කිරීමට පැමිණි පූජකයා ඔහු වීසින් එලවා දමන්නේ ඔහුගේ ආගමික කියවීම් කියවීම් ඇසීම ඉවසා බැරි වූ තැනය ඔහුට ඒවා ග්‍රීක් ය .
මාර්සෝ සර්වශුභවාදියෙක් යැයි කීවාට ද කම් නැත.ඔහු තමාගේ මරණයට සූදානම් වන්නේ ද ඉතා අපූරු ලෙසෙනි."බලාපොරොත්තු ගබඩාවේ ඔක්කෝම අඩුක්කු හිස් කරලා දැම්මා වගෙයි. නා නා මාදිලියේ පෙර-ලකුණත්,තාරකා මං- සලකුණු ත් අඩුවක් නැති මේ රාත්‍රිය ඉදිරියෙර්, පක්ෂපාතී පූර්ව දැනුමේ ඇද හෙවණැලි කිසිත් නැති මුදුමොලොක් නව ලොවක් කරා පළවෙනි වතාවට මට දොර විවෘත වී තියෙනවා. මාර්සෝ! දිනක් පුරාවට මා පෙම්බැදි මාර්සෝ පෝරකයට නියම වී ඇත.ඔහු ඉතා සතුටින් මිය යනු ඇත.මාර්සෝ අප කාගේත් සිත් තුළ ඇති එළියට නොඑන මිනිසෙකි. ඔහුගේ ඉරණම අහම්බ ගොඩක එකතුවකි. නමුත් අපට වඩා ඔහු යතානුරූපී බවින් ඉදිරියේ ය. ඇල්බෙයා කැමූගේ විකාරරූපී රචනා ශෛලිය මෙන්ම පියසිරි විජය සේකර ගේ අපූර්ව පරිවර්තනය ද මෙහිලා සුවිශේශී ය.අමුතුම මිනිසෙක් අප අතරද සිටී. එබැවින් ඔබ මා අනිවාර්යයෙන් ම විසදාගත යුතු පොතක් ලෙස මෙය හුවාදැක්විය හැකිය.
සාංදඍශ්ටිිිකවාදී සාහිත්‍ය නිර්මාණමයක් ලෙස මෙය තවදුරටත් ව්ශ්ලේශණය කළ හැකිය
No comments:
Post a Comment